Register for the
Daily e-news Update
සැබෑ බෞද්ධයෙකු වන්නට පැවිදි වීම අවශ්‍යමද? PDF Print E-mail
Sunday, 25 July 2010 15:20

ඇසළ පෝදා දහම් පණිවිඩයෙන් අද අවධානය‍ මේ පිළිබඳවයි.

බුද්ධ ධර්මය කොතරම් උසස් උතුම් දෙයක් ද යත් නවීන ලෝකයේ ජීවිත සටනෙහි යෙදී සිටින පොදු මිනිසාට එය පිළිපැදිය නොහැකි යැයි ද, සැබෑ බෞද්ධයෙකු වීමට නම් පන්සලක හෝ වෙන කිසියම් විවික්ත ස්ථානවක හෝ විසිය යුතු යැයි ද සමහරු සිතති.

මේ වනාහි බුද්ධ ධර්මය නොපිටට තේරුම් ගැනීම නිසා ඇති වී තිබෙන වැරදි මතයකි. ඔවුන් මෙවැනි ඉක්මන් සදොස් නිගමනවලට බසින්නේ බුද්ධ ධර්මයේ හැම පැත්තක්ම හරඅහැටි තේරුම් නොගත් පුද්ගලයන් විසින් ලියන ලද එක් පැත්තකට බර අවුල් අදහස් ටිකක් යන්තම් හෝ ඇසීම, කියවීම නිසයි.

බුදුන් වහන්සේගේ ධර්මය පන්සල්වල වෙසෙන භික්ෂූන් සඳහා පමණක් නොව ගිහි ගෙයි වෙසෙන පොදු ස්ත්‍රී පුරුෂයන් සඳහා ද දේශනා කරන ලද්දකි. බෞද්ධ ජීවන ක්‍රමය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය කිසිත් වෙනසක් ඇතිව ගිහි පැවිදි හැම දෙනාම සඳහා විවෘතව ඇත්තේය.

ලෝකයේ මිනිසුන්ගෙන් වැඩි දෙනෙකුට මහණ වීමට හෝ ආරණ්‍යගත වීමට නුපුළුවන. බුද්ධ ධර්මය ‍කොතරම් උතුම් වුවත්, පිරිසුදු වුවත් අද ලෝකය එදිනෙදා ජීවිතයේ දී එය පිළිපැදිය නොහැකි නම් මනුෂ්‍ය වර්ගයාට එයින් වැඩක් නැත. එහෙත් බුද්ධ ධර්මයේ අර්ථය ව්‍යඤජනය ‍නොව අර්ථ නිවැදරි ලෙස තේරුම් ගත් කෙනෙකුට නම් පොදු ජීවිතයක් ගත කරමින්ම එය පිළිපැදිය හැකිය.

අනුන්ගේ ඇසුරෙන් සමාජයෙන් ඈත්ව පිටිසර පළාතක විවික්ත ස්ථානයක වාසය කරන්නට ලැබුණොත් ඇතැමෙකුට බුද්ධ ධර්මය පිළිපැදීම වඩාත් ලෙහෙසි විය හැකිය.

එහෙත් එවැනි විවේකය, ශාරීරික මානසික ග්ලානියයට හේතු වන බවත්, ආධ්‍යාත්ම්ක බුද්ධිමය වර්ධනයට හිතකර නොවන බවත් තවත් කෙනෙකුට දැනෙයි.

සැබෑ අබිනික්මන නම් ලෝකයෙන් පැන යාම නොවේ.

වරක් අගසවු සැරියුත් හිමියන් වදාළ පරිදි, ධූතංග රකිමින් ආරණ්‍යක ජීවිතය ගත කරන කෙනෙකු අපිරිසුදු සිතිවිලිවලින් කෙළෙස්වලින් පිරී සිටිය හැකිය. එබඳු කිසිදු ධූතංග රැකීමක් නැතව ගමේ හෝ නගරයේ වෙසෙන කෙනෙකු පිරිසිදු සිත් ඇත්තෙකු විය හැකිය.

මේ දෙදෙනා අතරින් නොකිලිටි ජීවිතයක් ඇතිව ගමේ හෝ නගරයේ හෝ ව‍ාසය කරන තැනැත්තා ආරණ්‍යයේ වාසය කරන අර තැනැත්තා වඩා උසස් බව උතුම් බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

‘බුද්ධ ධර්මය පිළිපැදීමට නම් ගිහි ජීවිතයෙන් ඈත් විය යුතුය’ යනු වැරදි මතයකි. ඒ වනාහි බුද්ධ ධර්මය පිළි පදින්නට අකමැත්තෙන් කියන කතාවකි. පොදු ජීවිතයක් ගත කරමින් බුද්ධ ධර්මය පිළිපැද නිර්වාණය අවබෝධ කර ගත් බොහෝ ස්ත්‍රීන් සහ පුරුෂයන් ගැන බෞද්ධ ග්‍රන්ථවල නොයෙක් තැන්වල සඳහන්ව ඇත.

‘ගිහි ජීවිතය ගත කරමින් බුද්ධ ධර්මය හොඳින් පිළිපදින මාර්ග ඵල ලැබ සිටින උපාසක උපාසිකාවෝ වෙත්දැ’යි වරක් වච්ඡගොත්ත පරිබ්බාජක තෙමේ බුදුන් වහන්සේගෙන් ප්‍රශ්න කළේය. එවැනි උපාසක උපාසිකාවරු සිය දෙනෙකු හෝ දෙසිය දෙනෙකු හෝ පන්සිය දෙනෙකු හෝ නොව එයට වැඩි බොහෝ ගණනක් වෙත්’ යැයි උන් වහන්සේ ඉඳුරාම පළ කළහ.

කලබලවලින් තොරව නිහඬ තැනක විවේකයෙන් ජීවත් වීම ඇතැමෙකුට ප්‍රිය විය හැකිය. එහෙත් අනුන්ටත් උදවු කරමින් ඔවුන් අතරම ජීවත් වෙමින් බුද්ධ ධර්මය පිළිපැදීම නම් එයට වඩා වැදගත් එඩිතර වැඩකි. බුද්ධිමය, ධාර්මික, ආධ්‍යාත්මික පුහුණුවේ මුල් පියවරක් හැටියට සිතත් චරිතයත් දියුණු කරගෙන ඉක්බිති බැහැර අවුත් අනුනට පිහිට වීමට උවමනා ශක්තිය ලබා ගැනීම පිණිස කලක් විවේකයෙන් විසීම ඇතැම් කෙනෙකුට ප්‍රයෝජනවත් විය හැකිය. එහෙත් සෙසු මිනිසුන් ගැන නොතකා තම සැපතත් ගැලවීමත් ගැන පමණක් සිත සිතා මුළු ජීවිතය ගත කරන්නෙකු මෛත්‍රිය කරුණාව පරාර්ථ චර්යාව ආදී ගුණාංග පදනම් කොට ඇති බුද්ධ ධර්මය පිළි පදිතැයි සිතිය නොහැකිය.

සාමාන්‍ය ජීවිතය ගත කරමින් බුද්ධ ධර්මය පිළි පැදිය හැකි බව සැබෑ නම් බුදුන් වහන්සේ සංඝයා හෙවත් භික්ෂු සංවිධානය ඇති කළේ, කවර හෙයින්දැයි මෙහිදී ප්‍රශ්නයක් පැන නැඟිය හැකිය.

උන් වහන්සේ භික්ෂු සංඝයා ඇති කළේ තමන්ගේ බුද්ධිමය අධ්‍යාත්මික දියුණුව සඳහා පමණක් නොව පරාර්ථ සේවාව සඳහා දජීවිතය ගත කරනු කැමති අයට ඉඩ සලසා දෙන්නටය.

පවුලක් රකින සාමාන්‍ය ගිහියාට පරාර්ථ සේවය සඳහා මුළු ජීවිතය ගත කරන්නට පිළිවෙළක් නැත. එහෙත් පවුලක බරක් හෝ වෙනත් ලෞකික බාධවක් නැති භික්ෂුවට බුදුන් වහන්සේගේ උපදෙස් අනුව බොහෝ දෙනාගේ හිත පිණිසත් බොහෝ දෙනාගේ සුව පිණිසත් මුළු ජීවිතයම කැප කිරීමට පුළුවන. බෞද්ධ සංඝාරාමය ආධ්‍යාත්මික කේන්ද්‍රයක් බවට පමණක් නොව අධ්‍යාපනික සංස්කෘතික කේන්ද්‍රයක් බවට ද අනුක්‍රමණයෙන් පැමිණියේ මේ කරුණු නිසාය.

ගිහියාගේ ජීවිතය, පවුල, සමාජය යනාදිය ගැන බුදුන් වහන්සේ කොතරම් උසස් සැලකිල්ලක් දැක්වූ සේක්ද යන්න (දීඝ නිකායේ 31 වන) සිගාල සූත්‍රයෙන් පැහැදිලි ‍ වේ.

සිගාල නම් තරුණයෙක්, තම පියාණන් මිය යන මොහොතේ දුන් අවවාදය අනුව නැගෙනහිර, දුණ බටහිර, උතුර, යට , උඩ යන සදිසාවන් වඳින්නට පුරුදුව සිටියේය. ආර්ය විනයෙහි එන සදිසාව මෙයට වෙනස් බව බුදුන් වහන්සේ මෙම තරුණයාට වදාළහ. ආර්ය විනයෙහි එන සදිසාව නම්

 මව්පියන් නැමැති නැගෙනහිර  ගුරුවරුන් නැමති දකුණ  අඹු දරුවන් නමැති බටහිර  නෑදෑ මිතුරු අසල් වැසි පිරිස නමැති උතුර  සේවකයන් නමැති යට  මහණ බමුණන් නමැති උඩ

යන මේවා ය.

මේ සදිසාව වඳින්නේය’යි උන් වහන්සේ වදාළහ. මෙහි ‘වඳින්නේය’ (නමස්සෙය්‍ය) යන වචනය ඉතා වැදගත්ය. අප වඳින්නේ වැඳුම් පිදුම් සැලකිලි ලැබීමට සුදුසු උතුම් දෙයකටය. පවුලත් සමාජයත් පිළිබඳ මේ කොටස් 06 වැඳුම් පිදුම් සැලකිලි ලැබීමට සුදුසු යයි ද උතුම් යයි ද බුද්ධ ධර්මය ප්‍රකාශ කරයි. එහෙත් මේ සය වැඳිය යුත්තේ කෙසේද? ඒ සය කෙරෙහි තම යුතුකම් ඉටු කිරීමම ‘වැඳීම’බව බුදුන් වහන්සේ වදාළහ. මේ යුතුකම් කවරේද යනු සිගාල සූත්‍රයෙහි විස්තර කර තිබේ. පළමුව සම්පියෝ දරුවන් විසින් වැඳිය යුත්තෝ වෙති. ‘මවිපියෝ බ්‍රහ්මයාය’ (බ්‍රහ්මාති මාතා පිතරෝ) යයි බුදුන් වහන්සේ දෙසූහ. දඹදිව වැසියන් ඉතා උසස් යැයි ද ඉතා උතුම් යැයි ද කල්පනා කළ යමක් වී නම් එය ‘බ්‍රහ්ම’ නමින් දක්වන ලද්දේය. බුදුන් වහන්සේ මව්පියන් ඒ ගණයෙහි ලා සැලකූහ.

සැබැවින් ම හොඳ බෞද්ධ ගෙදරවල දූ දරුවන් දිනපතා උදේ සවස මව්පියන් වඳින්නේ මේ නිසාය. ආර්ය විනයට අනුව එක්තරා යුතුකම් වගයක් ඔවුන් විසින් ඉටු කළ යුතුය.

 ඔවුන් තම මහළු දෙමවිපියන් රැක බලා ගත යුතුය.  මව්පියන් වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකම් පිරිමැසිය යුතුයි.  පවුලේ සිරිත් විරිත් නොකඩා පවුලේ ගෞරවය රැක ගත යුතුය.  ඔවුන් මිය ගිය පසු අවසාන ගෞරවය දැක්විය යුතුය.

අනෙක් අතට මව්පියන් සතු වගකීම් කීපයක් ද වෙයි.

 ඔවුන් තම දූදරුවන් නොමඟ යනු වැළැක්විය යුතුය.  දියුණුවට ඉවහල් වන යහපත් වැඩවල යෙදවිය යුතුය.  හොඳ අධ්‍යාපනයක් දිය යුතුයි.  හොඳ පවුල්වලින් ආවාහ විවාහ කර දිය යුතුය.  සුදුසු කාලයේ දී තම දේපල පවරා දිය යුතුය.

දෙවැන්න නම් ගුරුවරයාත් ශිෂ්‍යයාත් අතර සම්බන්ධයයි.

 ශිෂ්‍යය‍ා ගුරුවරයාට ගෞරව කළ යුතුයි.  කීකරු විය යුතුයි.  ගුරුවරයාගේ වැඩක් පළක් ඇතොත් කර දිය යුතුය.  උනන්දුවෙන් ‍ඉගෙනීම කළ යුතුයි.

අනික් අතට ගුරුවරයා ද,

 තම ශිෂ්‍යයාට මනා පුහුණුවක් දී ඔහු නිසි මඟ යැවිය යුතුය.  ඔහුට හොඳට ඉගැන්විය යුතුයි.  ඔහු තම මිතුරන්ට හඳුන්වා දිය යුතුයි.  ඉ‍ගෙනීම අවසන් කළ පසු රක්ෂාවක් සොයා දෙන්නට උත්සාහ දැරිය යුතුයි.

තුන්වන්න නම් අඹු සැමි දෙදෙනාගේ සම්බන්ධයයි. මේ දෙදෙනාගේ අන්‍යෝන්‍ය ප්‍රේමය පවිත්‍ර යයි ද උත්තම යයි ද සලකනු ලැබේ. මෙය උතුම් ගිහි ගෙය හෙවත් ‘සදාර බ්‍රහ්ම’ චරියා නම් වේ. මෙහිද බ්‍රහ්ම යන වචනය වැදගත් වේ. අඹු සැමි දෙදෙනාගේ සම්බන්ධයට කොතරම් උසස් ගෞරවයක් දක්වන ලද්දේ ද යනු ඒ වචනයෙන් පැහැදිලි වේ. අඹු සැමියන් උනුන් හට ලැදිව හිතවත්ව ගරුසරු සහිතව විසිය යුතුය.

ඔවුන් විසින් උනුන් සඳහා කළ යුතු යුතුකම් වගයක් ද වෙයි.

 සැමියා හැමවිටම තම බිරිඳට ගරු කළ යුතුය  ඇයට දක්වන සැලකිල්ල කිසිවිටෙක අඩු නොකළ යුතුය.  ඔහු ඇයට පෙම් කළ යුතුය.  ඇය තබන විශ්වාසය කඩ නොකළ යුතුය.  ඇයට සැප පහසුකම් හා සමාජයේ සැලකිල්ල ද ලබා දිය යුතුය.  ඇඳුම් පැළඳුම් ආභරණ දීමෙන් ඇය සතුටු කළ යුතුය. (සැමියෙකු තම බිරිඳට දිය යුතු තෑගි වැනි දේවල් ද මෙයට ඇතුළත් කිරීමෙන් ද පෙනෙන්නේ මිනිසාගේ පොදු හැඟීම් පවා බුදුන් වහන්සේගේ කරුණාවට ලක් වූ බවයි)

අනෙක් අතට බිරිය,

 ගේ දොර රැක බලා ගත යුතුය.  ආගන්තුකයන්ටත් මිතුරන්ටත් නෑදෑයන්ටත් සංග්‍රහ කළ යුතුයි.  තම සැමියාට පෙම් කළ යුතුයි.  ඔහු තබන විශ්වාසය කඩ නොකළ යුතුයි. ඔහු උපයන වස්තුව රැක බලා ගත යුතුයි.  ඇය හැම වැඩකටම නිපුණ ද උත්සාහවත් ද විය යුතුයි.

සතරවැන්න නම් නෑදෑ මිතුරු අසල්වැසියන් සමඟ පැවැත්විය යුතු සම්බන්ධයයි.

 ඔවුන් උනුන් හට හිතවත් සහ උපකාරී විය යුතුයි.  ප්‍රිය මනාප වචනයෙන් කතා කළ යුතුයි.  උනුන්ගේ දියුණුවට උදවු දිය යුතුයි.  උනුන් සමානතාවෙන් පිළි ගත යුතුයි.  උනුන් හා කෝලාහල නොකළ යුතුයි.  නැතිබැරිකම්වලදී උනුන් හට පිහිට විය යුතුයි.  ආපදාවලදී පිටු නොපැතිය යුතුයි.

පස්වැන්න නම් සේව්‍ය සේවක දෙපක්ෂය අතර සම්බන්ධයයි. සේව්‍යයා හෙවත් හාම්පුතා විසින් සේවකයා සඳහා කළ යුතු යුතුකම් කිහිපයක්ම වෙයි.

 ඔහු තම ‍සේවකයින්ගේ දක්ෂතා අනුව ඔවුනට වැඩ බෙදා දිය යුතුයි.  නිසි වැටුප් ගෙවිය යුතුයි.  ලෙඩදුක්වලදී වෛද්‍ය උපකාර ලබා දී උවටැන් කළ යුතුයි.  කලින් කල වැඩි දීමනා (බෝනස්) දිය යුතුයි.  අනෙක් අතට සේවකයා අලසකමින් තොරව උත්සාහවත් විය යුතුයි.  හාම්පුතා නොරැවටිය යුතුයි.  අවංක සහ කීකරු විය යුතුයි  තම වැඩ උනන්දුවෙන් කළ යුතුයි.

සවැන්න ගිහියන් සහ ‍පැවිද්දන් අතර සම්බන්ධයයි.

 ගිහියන් ආදර ගෞරවයෙන් යුක්තව පැවිද්දන්ගේ සිවුපස සපයා දිය යුතුයි.

අනෙක් අතට පැවිද්දන්,

 අනුකම්පාවෙන් යුක්තව ගිහියන්ට ඉගැන්විය යුතුය.  ඔවුන් පවින් වළකා සුමඟ යැවිය යුතුයි.

ගෙදර දොරද, සමාජය ද ඇතුළු ගිහි ජීවිතය ආර්ය විනයෙන් බැහැර නොවන බව ද එය බුදුන් වහන්සේ අදහස් කළ බෞද්ධ ජීවිතයේ කොටස් බව ද මේ කරුණුවලින් හෙළි වේ. ‘මම බඹසර රක්නා හොඳ සිල්වත් පැවිද්දන් විඳිමි. තවද මාතලිය, දැහැමින් පවුල් රක්නා පින් කරන යම් උපාසකයෝ වෙත්ද ඔවුන් ද වඳිමි’ යයි සක් දෙවිඳු පැවසූ බව ‘සංයුක්ත නිකාය’ කියන්නේ එහෙයිනි.

බෞද්ධයෙකු වීම සඳහා උපනයනයක් (බවුතිස්ම) වුවමනා නැත.(භික්ෂු සමාජයට ඇතුළත් වනු කැමති කෙනෙකු කලක් මුළුල්ලේ ධර්ම විනය උගනමින් පුහුණුවක් ලැබිය යුතු බව සැබෑය. එහෙත් ඒ වනාහි අබෞද්ධයෙකු බෞද්ධ වීමක් නොව බෞද්ධයෙකු ගිහි ගෙයින් නික්ම යෑමකි)

යම් පුද්ගලයෙක් බුද්ධ ධර්මය තේරුම් ගෙන එය සත්‍ය මාර්ගය බව පිළි ගෙන එය පිළිපදින්නට උත්සාහ දරයිද හේ බෞද්ධයෙකි. එහෙත් තිසරණ පන්සිල් සමාදන් වන තැනැත්තා බෞද්ධයෙකු ලෙස පිළි ගැනීම පෙර පටන් නොකඩවා පැවත එන සම්මතයයි.,සම්ප්‍රදායයි.

මහාචාර්ය වල්පොළ ශ්‍රී රාහුල ස්වාමීන් වහන්සේගේ “බුදුන් වදාළ ධර්මය” කෘතියෙන් උපුටා ගැණුනකි.

ලියා සකස් කළේ ජීවන්ති වීරසිංහ විසිනි.

 
Bookmark and Share

Comments

  • 1) religious story

    Author: bamunusinghe

    Good Story.

  • 2) Baudayaku vimata pavidi vimata avashada

    Author: upul

    Ketima utharaya Netha / Emenam pavidi ayata vana gatha vimada uvamana nove. Mokada budu dahama tamage manasa gana kiyana nisa emania palmu karuna thamai sithivili haduna ganima emanisa pvidi vimata avashan nove

Add new Comment

 
 
 
 
 
 
 
 
 
 
 
About us Advertisement Contact us
© vimasuma.com All Right Reserved